වසර ගනනාවක සිට වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම මඟින් පන්දහසකට වැඩි රැකියා අවස්ථාවන් නිර්මාණය කරගත හැකියි.

එමෙන්ම සීනි ආනයනයට වාර්ෂිකව වැය වන රුපියල් කෝටි හාරසියයකට ආසන්න මුදලක් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි ද රජය විශ්වාසය පළ කරනවා.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගිය දා මේ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළ අතර, ඉදිරි මාස තුන ඇතුළත දී නව ආයෝජකයකු යටතේ කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන වසර වන විට නැවත එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි වනු ඇතැ බවයි ඇය සඳහන් කර ඇත්තේ.

මේ කර්මාන්ත ශාලාව වසර විසිපහක් තිස්සේ වසා දමා තිබෙන අතර, එහි තිබූ ගොඩනැඟිලි යන්ත්‍ර සූත්‍ර ඇතුළු රුපියල් කෝටි පන්සියයකට අධික දේපළක් විනාශ වී යමින් පවතිනවා.

චෙකොස්ලෝවැකියානු රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ ‍කෙරුණේ 1960 ඔක්තෝබර් 02 වැනිදායි.