මේ වනවිට වෙළඳපොලේ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා දිවයින පුරා පාරිභෝගිකයින් අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

බොහෝ සහල් වර්ගවල සිල්ලර මිල මේ වනවිට පවතින්නේ රුපියල් 100 – 150 අතර මට්ටමකය.

උත්සව සමය තුළ එළවළු, මස්වර්ග ඇතුළු ආහාර සහ වෙනත් භාණ්ඩ මිල ද යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති හෙයින් ඒ අතර සහල් මිල ද ඉහළ යාම නිසා තමන්ට දැඩි බලපෑමක් සිදුව ඇති බවයි ජනතාව පවසන්නේ.

කෙසේවෙතත් අභ්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ රජය සතු වී මෙට්‍රික් ටොන් 4000ක් කඩිනමින් සහල් බවට පත්කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

එම සහල් ඉදිරි සතියේදී ලක් සතොස හරහා වෙළඳපොලට මුදාහැරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.