ශ්‍රී ලංකා – පාකිස්තාන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 252ක් ලබා සිටියා.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අබිඩ් අලී නොදැවී ලකුණූ 109යි.

ඔහු සිය මංගල එක්දින තරගයේ දී ද ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මංගල එක්දින සහ ටෙස්ට් තරගයේ දීම ශතක වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු අද ඉතිහාසයට එක් වුණේ.

බාබර් අසාම් නොදැවී ලකුණු 102ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණූ 308ක් ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ධනංජය ද සිල්වා සිය 6 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පළමු කඩුල්ල සදහා නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු අතර ලකුණු 96ක සබදතාවයක් ගොඩ නැගුණා.

දිමුත් ලකුණු 59ක් සහ ඕෂද ලකුණූ 40ක් රැස් කළා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණූ 31යි.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් සහ ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ අබිඩ් අලී.

‍දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය එළඹෙන 19 වනදා කරච්චිහී දී ආරම්භ වීමට නියමිතයි.