නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ කටයුතු කර තිබේ. පසුගියදා නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ නිවසකදී කාන්තාවන් දෙදෙනකු බාලවයස්කාර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මිත්තණිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් ඇති අතර එහිදී පැමිණිලි බාරනොගෙන ඇය ආපසු හරවා යැවීම හේතුවෙන් රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.

නිකවැරටිය කොටවෙහෙර පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසේදී පසුගිය (30) වැනිදා 14 හැවිරිදි දැරියක් මෙලෙස පහරකෑමට ලක්වූ අතර
මෙම පහරදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ දැරිය නිකවැරටිය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට වෙත යවා තිබේ. මේ වන විටත් ඇය එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධියට සම්බන්ධ දැරියගේ කුඩම්මා වන නිල්මිණි රත්නකුමාරි සහ ඇගේ සහෝදරිය වන ග්‍රාම නිලධාරිනී දිල්හානි මානෙල් රත්නකුමාරි, දැරියගේ පියා වන ජමාල්දීන් අබ්දුල් මොහොමඩ් රොෂාන් යන අයද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය වීඩියෝ ගත කළ තරුණයාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දැරියගේ මිත්තණියගේ ප්‍රකාශය

“මගේ අහිංසක දරුවට පහර දෙන්නේ දරුවගේ කුඩම්මයි එයාගේ නංගියි එකතු වෙලා. මුල්ම පාර වැදුණම දරුවට සිහි නැති වෙලා. සිහිය නැතිව වැටිලා ඉන්න දරුවගේ කොණ්ඩෙන් අල්ලලා උස්සලා තමයි ගහන්නේ. හිතක් පපුවක් තියෙන කෙනෙකුට දරුවකුට තියා තිරිසනෙක්ටවත් ගහන්න බෑ එහෙම. මේ පහරදීම හිතවත් කෙනෙක් වීඩියෝ කරලා තිබුණා. මම මේ වීඩියෝ එක අරගෙන කොටවෙහෙර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගියා. මම ගියේ දරුවගේ තත්ත්වය පොලිසියට කියලා දරුවා මගේ ළඟට ගන්න හිතාගෙන. පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මැඩම් කිව්වා පැමිණිල්ල ලියන්න බැහැ කියලා. මේක තඹේකට ගණන් ගත්තේ නැහැ. දරුවට ගහනවා විතරනේ මරන්නේ නෑනේ කියලා කිව්වා.”