කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන අයුරුන් කාර්‍යක්ෂම සහ ගුණාත්මක ගුවන්තොටුපළ සේවා ක්‍රියාත්මක විය යුතුයි. දැනට පවත්නා ගුවන් තොටුපොළ සේවාවන්හි කාර්යක්ෂමතාව පිළිබඳව එහි සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට මගේ ප්‍රශංසාව හිමි වූ අතරම, රටින් පිටව යන සාමාන්‍ය ගුවන් මගියෙකු ගුවන් තොටුපොළට ඇතුල්වන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන් යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියෙකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන සහ ක්‍රියාවලිය මෙහිදී නිරීක්ෂණයට ලක් විය.
ආගමන විගමන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා මගීන්ට සිදුවන ප්‍රමාදය හැකි උපරිමයෙන් අවම කිරීම, පැමිණීම සහ පිටවීම සඳහා අංගන දෙකක් නිර්මාණය කිරීම, නව මගී පර්යන්තයේ වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීම සහ කුලී රථ වෙනුවෙන් වෙනම අංගනයක් සකස් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.