බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දරුණුම දූෂකයා ලෙස හඳුන්වා ඇති පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය පියවර ගෙන තිබෙනවා.

දූෂණ 136 ක් ඇතුළු ලිංගික වැරදි 159 ක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී ඇති බැව් වාර්තා වනවා.

රෙනාඩ් සිනාගා නමැති මෙම අපරාධකරුවා 36 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඉන්දුනීසියානු ජාතිකයෙකු වන අතර කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින්නෙකු බව සඳහන් වනවා.

පශ්චාත් උපාධි ශිෂ්‍යයෙකුද වන රෙනාඩ් සිනාගා මේ ආකාරයෙන් දූෂණය කර ඇත්තේ වැඩි වශයෙන්ම පිරිමින් වීම විශේෂත්වයකි.

මැන්චෙස්ටර් නගරයේ රාත්‍රි සමාජ ශාලා අසල ගැවසෙමින් ඒවාට එන පිරිමින් මිතුරු කරගෙන ඔවුන් සිය තට්ටු නිවාසය වෙත කැඳවාගෙන විත් ඇත්තේ මධුවිතක් තොල ගෑම සඳහා වැනි හේතු කියමිනි.

එහිදී ඔහු මෙම පුද්ගලයන් මත් කිරීමකට ලක්කර ඔවුන් දූෂණය කර ඇති බව පැවසෙන අතර මෙම ක්‍රියාවන් විඩියෝගත කර ඇති බවද හෙළි වී තිබෙනවා.

දූෂණයට ලක් වූ පුද්ගලයන්ට නැවත පියවි සිහිය ලැබෙන විට ඔවුන්ට කිසිවක් මතක නොතිබීම නිසා රෙනාඩ් සිනාගාට මෙතරම් කලක් මෙම ක්‍රියාව කරගෙන යාමට ලැබී ඇති ආකාරයක් පෙනෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අවසානයේ ඔහු සම්බන්ධයෙන් පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ දිනක් ඔහු එක් පුද්ගලයෙකුට හිරිහැරයක් කරමින් සිටියදී එම තැනැත්තාට පියවි සිහිය ලැබීම නිසායි.

මේ අතර රෙනාඩ්ගේ ගොදුරු බවට පත් වූයේ යැයි සැක කෙරෙන තවත් පුද්ගලයන් 70 දෙනෙකු හඳුනාගැනීම සඳහා විමර්ශකයන් ක්‍රියා කරමින් සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබුණා. කෙසේ නමුත් ඔහු සමස්තයක් ලෙස 190 දෙනෙකු පමණ ඉලක්ක කර ඇති බවට සාක්ෂි ඇතැයිද පොලිසිය සඳහන් කර තිබෙනවා.