වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ නැවතත් මර්දනකාරී පිළිවෙතක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.

කොළඹදී අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ගතවූ දින කිහිපයේම විවිධ අසත්‍ය චෝදනා නඟමින් පසුගිය රජයේ අමාත්‍යවරුන්ට මාධ්‍ය හරහා ප්‍රහාර එල්ල කළ බවයි.

මෙම මර්දනකාරී වැඩපිළිවෙළේ ආසන්නම සිදුවීම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එල්ල කරන චෝදනාව බවයි කාරියවසම් මහතා පෙන්වා දුන්නේ.

එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පෙර සිටි රියැදුරාගේ බිරිය, දෙහැවිරිදි දියණිය සහ මව, පොලිසිය යැයි හඳුන්වා දුන් කණ්ඩායමක් විසින් අද (16) අලුයම 12.45ට පමණ පැහැරගෙන ගොස් ඇති බවයි.

එලෙස පැහැරගෙන ගොස් ඇත්තේ 64-8736 දරන මෝටර් රථයකින් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අනතුරුව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අද උදෑසන බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ නවතා තිබූ මෙම මෝටර් රථය දැක ඇති අතර, ඔහු ඒ සම්බන්ධයෙන් එහි සිටි පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතාගෙන් විමසා තිබෙනවා.

පොලිස් පරීක්ෂකවරයා එහිදී තහවුරු කර ඇත්තේ අදාළ පිරිස අද අලුයම ඉමදූව ප්‍රදේශයේ සිට රැගෙන පැමිණි බවත්, ඔවුන් එම මෝටර් රථයේ සිටින බවත්, තමන් ඔවුන් රැගෙන ආවේ තම ස්ථානාධිපතිවරයාගේ නියෝගය මත බවයි.

ඒ අනුව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කර සිටියා.

මෙම සිදුවීම හරහා ඔවුන් උපක්‍රමශීලීව උත්සාහ කර ඇත්තේ 2016 වසරේ සිදුවූ රිය අනතුරට සම්බන්ධ රියැදුරා අත්අඩංගුවට ගැනීමට බවද අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියා.

මේ ආකාරයට අදාළ රියැදුරාගේ දෙහැවිරිදි දියණිය, බිරිය සහ මව අනිසි ලෙස රැගෙන ඒම පැහැරගැනීමක් බවයි අජිත් පී. පෙරේරා මහතා එහිදී පෙන්වා දුන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවත්, පවතින නීතියට අනුවත්, මානව හිමිකම්වලට අනුවත් මෙම සිදුවීම කිසි සේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළා.

අදාළ රිය අනතුරට සම්බන්ධ නඩුව මේ වන විට අවසන්ව ඇති බවත්, රියැදුරාට දඬුවම් පනවා ඇති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ වන තෙක් පාඨලී චම්පික රණවක මහතාට මෙම විමර්ශන පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

එවැනි වාතාවරණයක් තුළ අදාළ රියැදුරා සොයාගොස්, ඔහු නොසිටි හෙයින් ඔහුගේ පවුලේ අය පැහැරගැනීම බරපතළ වරදක් බවත්, මේ සම්බන්ධයෙන් ගතහැකි සියලු නීතිමය පියවර ගන්නා බවත් අජිත් පී. පෙරේරා මහතා සඳහන් කර සිටියා.